අදට ෆිජි වලට ඇවිත් මාස දෙකක් වෙනව. ඔක්තෝම්බර් මාසෙ මැද තමයි ආවෙ. ආපු දවස් වලම මොනව හරි ලියන්න ඕනෙ කියල හිතුනත්, ලියන්න තරම් දෙයක් තිබුනෙ නෑ (ලියන්න නිදහසක් තිබුනෙත් නෑ ඉතින්). අද මොනව හරි ලියනව කියල එක පාරම හිතුන. දැන් ඉතින් ලියනව.
ජාත්‍යන්තර දින රේඛාව ෆිජි වල "වනුව ලෙවු" ආසන්නයෙන් තමයි තියන්නෙ. ඒ කියන්නෙ ඕනම දවසක් මුලින්ම උදා වෙන රටවල් කිහිපයෙන් එකක් තමයි ෆිජි කියන්නෙ. ඒක හරි අපූරුයි නේද?
මෙහේ ප්‍රධාන වශයෙන් ඉන්න ජන කොටස් කිහිපයක් ඉන්නව. මුලින්ම ෆිජියටම ආවේණික ෆිජියානු ජාතිකයන්. මේ කොටසටම අයත් වෙනව බ්‍රිතාන්‍ය රාජාණ්ඩු සමයේ ඉන්දියවෙන් ඇවිත් පැවත එන ඉන්දියානු ෆීජියානුවන්. මේ ප්‍රධාන කොටස් දෙකට අමතරව චීන, කොරියන්, යුරෝපීය ජාතිකයන් වගේම අනිකුත් පසිෆික් දූපත් වාසීන් ගොඩක් මෙහෙ ඉන්නව. මොකද දකුණු පැසිෆික් කලාපයේ ආර්ථික, භූගෝලී, මෙන්ම ප්‍රවාහනය අතිනුත් ඉතාම වැදගත් රාජ්‍යක් තමයි ෆිජි කියන්නෙ. මෙහෙ ජනජනගහනය ලක්ශ 9ක් විතර තමයි වෙන්නෙ.
මෙහෙ අගනුවර තමයි "සුවා" (Suva) කියන්නෙ. විටි ලෙවු වල ගිනිකොන දිශාවට වෙන්න පිහිටල තියෙන්නෙ. කුඩා නගරයක්. හැබැයි අවශ්‍ය දේවල් ඔක්කොම වගේ තියෙනව. ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තියෙන්නෙ "නන්දි" (Nadi) වල (මට n අකුරක් අමතක වෙලා නෙවෙයි, එහෙම තමයි මෙහෙ භාශාව. ඒක ගැන පස්සෙ වෙලාවක කියන්නම්). ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නෙ මේ නාගරික ප්‍රදේශවල.
ෆීජි වල ප්‍රධාන ආදායම් මාර්ග වෙන්නෙ සංචාරක කර්මාන්ත, අපනයනය, කෘෂිකාර්මික හා මත්ස්‍ය නිෂ්පාදනය, වගේ දේවල්. රටක් විදිහට ගොඩක්ම ගනුදෙනු කරන්නෙ ආසන්නයේම තියෙන ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ඇමරිකාව සමග. මෙහෙ භාවිතා වන මුදල් ඒකකය ෆීජියානු ඩොලර්.
ෆිජි ගැන කියද්දි කියන්න ඕන වැදගත්ම කතාවක් තියෙනව. ටිකක් බය හිතෙන කතවක්. ෆිජි තමයි ලෝකෙ අවසාන මිනිස් ස්වජාත භක්ෂකයන් (cannibalism) වෙන්නෙ. 1867 තමයි අවසාන වතාවට මෙහෙම සිද්ධියක් වෙලා තියෙන්නෙ. හැබැයි මෙහෙ අයට ඒ ගැන හොඳ ස්වයං විවේචනයක් තියෙනව කියල මට හිතෙනව. අදටත් ඒ ගැන බොහොම විවෘතව කතා කරනව විතරක් නෙවෙයි, සංචාරකයන් ආකර්ෂණටත් යොදා ගන්නව.
හරි; අදට ඇති. පහල පින්තූර ටිකත් බලන්නකො. ආයෙ වෙලාවක් ලැබුනම අයෙත් ලියන්නම්.
ජය.....